Monday, November 12, 2012




නොසණ්ඩාල ස්ත්‍රී......


විමලනාථ දැණුනු මුත්‍රා බර කිසිදු අයුරකින් පාලනය කරගැනීමට ඔහුට නැහැකි විය. අවසන් වරට ධර්මතිලක සිය වීදුරුවට වත් කළ විස්කි පොද පානය කිරීමෙන් ඔහුගේ ඒකී බරපතල හැගීම දෙගුණ තෙගුණ වී දැනෙන්නට විය.
"එක්ස්කුස් මී මචං ...." කියාගෙනම සිය කෙටි අස්නෙන් නැගී ගත් විමලනාථ ධර්මතිලකගේ ගරාජයේ දොර පවා වසා පැවති ගන දුම් වළලු ඒ මේ අත ගසා දමමින් විසිත්ත කාමරයට දණිපනඉ ගාගත්තේය.
ඒමේ අත වැනෙමින් විසිත්තකාමරය හරහට යෙදී තිබුණු වැසිකිලිය වෙත ගමන් ගනිමින් සිටි විමලනාථ හට යම් කිසි අමුත්තක් දැණුනි. වෙනදා මෙන් සිය දරුවන්ට කෑම කවන්නට මහන්සි ගන්නා ගැහැනියක් තියා සිය ආදරණීය ස්වාමිපුරුෂයන් මත්පැණින් සප්පායම් වී විනෝද වී එනතුරු විසිත්ත කාමරයේ තැනිනි තැන ඕපා දූප කියමින් සිටින ගැහැණියක් හෝ දැක ගන්නට නොලැබුණි. සිය බිරිදද පෙනෙන්නට නොවූයෙන්
"කෝ මේ ගෑණු ටික...." යන්නේන් ඔහ්හුට ඉබේට මෙන් කියැවුනි.
යාබද කාමරයක දඩි බිඩි සංගීත රාවයක් ඇසුණු හෙයින් කරන්නට ගිය රාජකාරිය මදකට පසෙකට දමා ඔහු හීන් සීරුවේ කාමරයට එක් ඇසක් යොමා බැලුවේය. සංගීත රාවය ඇසුණු දෙසවන් ද එම දර්ශනය දුටු එම අවාසනාවන්ත ඇසටද එකී සිදුවීම අදහා ගත නොහැකි විය, එය නොදුටු විමලනාථගේ වාසනාවන්ත ඇස අනෙත් ඇස අහිබැම කඩාගෙන හිහලට ඇරෙද්දී ඉබේටම මෙන් වැසී ගියේය.
කාමරය මැද කුඩා මේසයකි, මේසය මත හිස් වූ ජැක් ඩැනියෙල් බෝතල් දෙකකුත්, නොකැඩූ රෙඩ් ලේබල් විස්කි බොතලයකුත් මෙනම මේසය යට බිම හිස් කරන ලද බීර බොඅතල් ද කිහිපයකි, ඉන් සමහරක් බිම පෙරලී ගොසින්ය, මීදුමකින් මෙන් වැසී ගත් කාමරය තුල ඒ මොහොතේ සිදුව්වෙමින් පැවති සිදුවීම දුටු විමලනාථ ගේ පුරුෂ සිතට එකවර ග්‍රහනය කර ගැනීමට තරම් ශක්තියක් නොවීය.
ගැහැණුන් එකිනෙකා හා වැළදගෙන තොර තෝන්චියකින් තොරව නටයි, උන්ගේ අත්වල ඇති වීදුරු එකිනෙක වේගයෙන් හිස් වෙයි, තවෙකියක් සිගැරැට්ටුව දැල්වීමට තවත් කාන්තාවකට ලයිටරය පත්තු කර දෙයි. විමලනාථ හෙට මෙකී දර්ශන පෙළ පෙනුනේ තමන් මොහොතකට අපායට ගිය කලක මාර දූවරුන් ගේ අසික්ෂිත දසුන් පෙළක් මෙනි. සිය බිරිද අන් සැමටම වඩා ඉදිරියෙන් නර්තනයේ යෙදෙයි, ඇගේ එක් අතක විස්කි වීදුරුවකි, අනෙත් අතේ සිගැරැට්ටුවකි. විමලනාථ ගේ සිත කෙන්තියෙන් පිරී ගොස් එය පිපිරී යාමට තරම් විය.
"මුං ගෑණුද....." ඔහුට තිත්ත කුණුහරපයක් සිහි වුනද ඔහුගේ වැදගත් කමට ඔහු එය අපහසුවෙන් මෙන් ගිළගත්තේය. විමලනාථ හට හැගුනේ මහත් අසරණ බවකි. වෙනදාට තමන් මත්පැන් පානය කරමින් මිතුරන් සමග විනෝදවෙමින් සිටින ස්ථානයට කෑම පිගානත් බෙදා ගෙනත් දෙන ඔහුගේ බිරිද ඔහු ළග ද නැත, ඒ වෙනුවට ඇය විමලනාථටත් ඉදිරියෙන් සිටිමින් කිසිත් නොතකමින් විනෝද වෙමින් සිටින්නීය,
මෝටර් රථයේ දොර ඇරුණි, ඇදගෙන ආ ඔහුගේ බිරිද විමලනාථ මොටර් රථයේ ඉදිරි අසුනට විසි කළේය.
"ඇයි අනේ....." කියාගෙනම ඇය අසුනේ ඉන්ද වුනා මිස ඇයට ඉන් වගක් වත් නැති හැඩය.
"යමන් ගෙදර...." කියාගත් වනම ඔහු මොටර් රථය හකි තරම් වෙර යොදා පණ ගැන්වූයේය.  "මගෙ සේරම සායම අද උඹ හෝදලා දැම්මා" කියාගෙනම විමලනාථ මෝටර් රථය වේගයෙන් ඉදිරියට ගමන් කරවන්නට විය, ඉන් ඇවිස්සුණු දූවිලි කුණාටුව ඔහු පසු පස වේගයෙන් හඹා එන්නට විය.
"දැන් කියපන් හරිද අර කරපු වැඩේ" විමලනාථ සිය ආවේගශීලී හඩ අවදි කළේය.
"මොන වැඩේද?" බිරිද වගක් නොමැතිව උත්තර බැනදාය
"අහන ලස්සන"
එතකොට අර වල් ගෑණු රැලත් එක්ක වැටිලා කරටිය කැඩෙන කල් බීපු එක හරිද..... ඒ මදිවට.... ඒ මදිවට.... තව සිගැරට් එකකුත් උරනවා.... ගෑණු කරන වැඩද මේ. ඔහුගේ හඩ මෙන්ම හද ද එකත්වන්ව වේගයෙන් උස් පහත් වෙයි.
"ඇයි ඔයා කියන්නේ ඔයාලට ගරාජ් අස්සෙ රිංගගෙන බොන්නයි ගෑණු අපි වෙරි බස්සන්නයි.... මාර ලිංග භේදයක්නේ ඒක" බිරිදගේ පිළිවදනින් අන්දුන්කුන්දුන්වී ගිය විමලනාථ ගේ ග්‍රහණයෙන් හදිසියේ මිදුණු මෝටර් රථය පාර දෙපස වනෙන්නට විය. මහත් වෙර දරා නැවතත් හරි මගට ගත් මොටර් රථයද ඔහුගේ නොසන්සුන් සිතද මොහොතකට ඒක රේඛීයව ඉදිරියට ගමන් ගත්තේය. මොකක්ද යකෝ තෝ.... කියන්නේ.... අර කරපු දහදුනා වැඩේ හර්යි කියලද අර...අර කියන්නේ."
හරිද නැද්ද මම දන්නේ නැහැ .... මම කළෙත් ඔයා කරපු දේමනෙ. මොකක්ද ඔයා කියන්න හදන්නේ.... ඔය කෙළින් අලාගෙන ඩ්‍රයිව් කරන්න විමලේ.
ඔයාමනේ මට වයින් බොන්න පුරුදු කළේ.... ගෙදර හදලා කොක්ටේල් පුරුදු කළේ.... ඉතින් ඔයා දැන් මොකක්ද මේ කියන්නේ" කාන්තිගේ හඩ වඩාත් තීක්ෂණය.
"ඇයි ගෑණියෙ ඒවට මම අවසර දුන්නේ අපි තත්වෙකින් ඕනෙ නිසානෙ, නැතුව උඹව බේබදු ගෑණියෙක් කරන්න නෙවෙයි. අනික යකෝ ඒවා ලේඩිස් ඩ්‍රින්ක්ස් නෙ, දැන් උඹ බොන්නෙ විස්කිනේ" විමලනාථගේ උද්වේගකර හඩ මෝටර් රථය තුල හමා ආ සිහිල් වායු සමනය රත් කරවන්නක්ම විය.
"ඔයා කියනකොට බොන්නයි.... කියනකොට නවත්තන්නයි පුදුම ලෝකයක් නේ මේක. කාන්ත්ගේ හඩ වඩාත් තාර්කිකය. එකී තර්ක ශාස්ත්‍රය විමලනාථගේ රුධිරය කකාරවන්නක් ම විය.
"හැම දේම ඔයාට ඕන දේ, සෙක්ස් කළත් ඔයාට ඕන විදිහට, ඉව්වත් ඔයාට ඕනෙ විදිහට, ඇන්දත් ඔයාට ඕනෙ විදිහට, මම හැරෙන්න ඕනෙත් ඔයාගෙන් අහලද" විමලනාථගේ ඉවසීමේ සීමා මායිම් ගෙවී ගොස්ය
 "මොකක්ද ගෑණියෙ තෝ කිව්වෙ.... මම පිරිමියා...උඹ මම කියන දේ කරපන්" විමලනාථ මෙම සටනේ තමන් සතු අවසන් තුරුම්පුවද ගසමින් වම් අතින් කාන්තිගේ කෙස් වැටියෙන් අල්ලා ගත්තේය.
"මොකද මට ගහන්නද?" යැයි කියමින් කාන්ති ඔහුගේ අත පහසුවෙන් ම ගසා දැමුවාය.
"මට ඕනෙ නැහැ බේබදු වල් ගෑණියෙක් මම උඹව ඩිවෝර්ස් කරනවා.... හෙටම කරනවා බලා ගණින්" ඔහුගේ දෑත්ම වේගයෙන් වෙවුලන්නට විය.
"ඔවු තමුසෙට ඕන මගුලක් කරගන්නවා…." කාන්තිගේද දබරැගිල්ල උල් කිණිස්සක් මෙන් විමලනාථ දෙසට  එල්ල විය. විමලනාථ හට සියල්ල අමතක විය ඔහුට කාන්ති හැර සියල්ලක් පෙණුනේ බොදවූ චිත්‍රයක් මෙනි එකී කාලකණ්ණි චිත්‍රය තුල ඔහුගේ සුකොමාල්, කාන්තිමත් බිරිය මැරී වැටී ඒ මල කද මතින් දරුණු රාස්සියක් ඉපිද තමන් දෙසට වේගයෙන් දිව එනු විමලනාථ දුටුවේය. ඔහු හර ඉතිරි වී තිබුණේ ඔහුගේ කේන්තිය පමණි.
ඔහු නැවතත් කාන්තිගේ කෙස් වැටියෙන් අල්ලාගත්තේ දෙකින් එකක් අහවර කිරීමටය.
"නිකං යනව ඕයි යන්න ගෑණුන්ට ගහන මහලොකු පිරිමියා...." කියාගෙනම කාන්ති මහත් වෙරක් යොදා විමලනාථගේ අත ගසා දැමුවාය. එසැණින් විමලනාථගේ පාලනය මෝටර් රථයෙන් ගිළිහුණි, මෝටර් රථය මාර්ගයෙන් පිටතට ගමන් කොට මහා රූස්ස ගසක හැපුණි.
විමලනාථ ගැස්සී අවදිවිය, ඔහුගේ සියොළග ඩාහයෙන් තෙත්වී ගොසින්ය, ඔහුට දෑස අදහා ගත නොහැකිතරම්ය, ඔහු තවමත් ජීවතුන් අතරය, තවමත් ඔහුට එය විශ්වාස නොමැති තරම්ය.අතට හසුවූ වතුර වීදුරුව හුස්මට පානය කළ විමලනාථ හදිසියේම විමසා බැලුවේ සයනයේ අනෙත් කෙළවර දෙසය.
ඔහුගේ රුවැති බිරිය අනෙත් පසට හැරී සුවපහසු නින්දේය. ඔහු ඇගේ මුහුණට එබී බැලුවේය. දිගු ඇස්, උල් නහැය, නා දලු වන් තොල් සගල. විමලනාථගේ සිත සෙනෙහසින් පිරුණි, “මගෙ මැණික යැයි ආදරයෙන් මුමුණමින් ඔහු කාන්තිගේ මුහුණ සිප ගත්තේය.
ශ්‍යාම්
13-11-2012

Monday, January 9, 2012

කොන්තරාත්තුව

මගේ මේසය උඩ ලේ විලක්.... කොම්පියුටරයේ මොනිටරය ලේ රතු පාට උණු ලේ වලින් වැසී ගිහින්, උගේ පපුවට ඇණපු පිහිය මගේ ඇගිලි තුඩු අතරින් ටයිල් පොළවට වැටෙන ශබ්දයවත් මාහට නොඇසුනේ මගේ හිත ඒ මොහොතේ කලු ගලක් වෙලා තිබ්බ නිසා වෙන්න ඇති. මෙච්චර කලක් මගෙ ළගින් හිටපු, මගෙ බත් පතකාගෙන මගෙන්ම හැදිච්ච ඌව මම අද ඉවරයක්ම කරලා දැම්මා.

මම දන්නේ නැහැ ඇයි මට ෆේස් බූක් එකවුන්ට් එකක් ඕනෙ වුනේ කියලා, කොටින්ම මට ඉන් එකක් නිර්මණය කරලා "ආ දැන් හරි ඔන්න උඹටත් එකක් ඇරියා" කියලා මට පරිගණකයේ මොනිටරය මගෙ පැත්තට හරවලා පෙන්නුවේ කාර්යාලයේ මගෙ ගජය සමින්ද. ඌ බලෙන් වගේ ඔය එකවුන්ට් එක ඇරලා නොදෙන්න මම ෆේස් බූක් එක ගැන අහලාවත් නොතිබෙන්න ඉඩ තිබුණා. එක එකාගෙ පින්තූර බල බල හිටපු මට එකපාරටම හිතුනා මගේම කියලා ගෲප් එකක් අරින්න. විකල්ප නමකුත් දාලා පුංචියට පටන් ගත්ත ගෲප් එක මාස කිහිපයකින් අති සාර්ථක වුනා, ඒක සාමාජිකයො දහ දොලොස් දාහක් පමණ එක් වෙච්ච ගොනුවක් බවට පත් වුනා. ගෲප් එකේ කට්ටිය එක් කරගෙන මාසික සුහද හමුවීම්, ඇතැම් විට පුංචි අවුරුදු උත්සව, වෙසක් දන්සැල් වගේ දේවල් පවා අපි සංවිධානය කළත් ඒ සැමවිට මම ඒ ගොඩේ මූලිකයා වෙන්න වුවමනා වුනා, ඒක මගේ පුරුද්ද.මට උඩින් යන්න හදපු හැම එකෙක්වම මං බෙල්ල මුළින්ම කපලා දැම්ම. ඒ ගෲප් එක ඇතුලෙදිමයි. ඒ සෑම කොන්ත්රාෙත් එකක්ම මම භාර දුන්නේ මා විසින්ම පණ දීල හදපු ෆේස් බූක් චරිත යොදාගෙන, උන් වෘත්තීය මිනීමරුවො, හොදින් කියලා බැරි වුනොත් වදාපු අම්මට කුණු හරුපෙන් බැණල හරි මගේ වැඩේ කරන්න මං උන්ව කදිමට පුහුනු කළා. කොටින්ම ලේ නොහැලෙන්න උන් වැඩේ නියමෙටම කළා.

ඔය මගේ පාතාල කල්ලියෙ හිටියා ටිකක් විතර ඉගෙන ගත්ත එකෙක්, ශාස්ත්‍රීය දෙබස් උපරිමයෙන් ගළාගෙන යනකොට මට අවශ්‍ය මාවතට ඒ දෙබස හරවන්න මම යොදා ගත්තේඔය මම කියපු යෝධයව. ඌ කියන කාරණා මටවත් මගේ නමින් කියාගන්න බැරුව ගියා අන්තිමට. මගේ ඔලුවෙ තියෙන දෙයට වඩා මගේ හිත කොණේම පැල පදියම් වෙලා තිබ්බ වටිනා කාරණා ඔහු කදිමට මගේ හිත හරහාම ඔහුගේ නමට හරව ගත්තා. ඒත් මම එක වරදක් කළා මේ මනුස්සයට පණ දෙනකොට අනෙත් එවුන්ට දැම්මා වගේ අගහරු ලෝකෙ ඉපදෙන ළමයින්ට දාන ජාතියෙ නමක් දානවට වඩා මනුස්ස ලෝකෙ එකෙක්ගෙ ගාම්භීර නමක් දාලා කොළඹ හතේ ඉස්කෝලෙක නමකුත් දැම්මා. ඒක තමයි මම කරපු ලොකුම වැරැද්ද.

ඌ මගේ කොමෙන්ට් එකට යටින් කියපු කතා මගේ ඒවට වඩා ගෲප් එක ඇතුලෙ සාමාජිකයන්ගෙ අවධානයට යොමු වෙන්න පටන් ගත්තා. ඔහුගෙ ප්‍රොෆයිල් එක ඇරල බලන සෑම වාරයකදීම නොයෙකුත් තරාතිරම් වල සාමාජිකයින් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට්ස් මෙන්ම ඌ ලියන දේවල් අගය කරලා එවලා තිබෙන මැසේජ් සිය ගණන් මම දුටුවහම මගේ ඉවසීමේ සීමා මායිම් මා විසින්ම කඩා බිද දැමුවා. මම ඌට මගේ පාතාල සාමජිකයි ලවා අතක් පයක් ගළවන්න කොන්ත්රාවත් කොච්චර දුන්නත් ඌව රකින්න මගේ ගෲප් එකේම ඕනෑ තරම් කට්ටිය හිටියා. මගේ පාතාල කල්ලියට මට ඕන දේ ඌට මා වෙනුවෙන් කරන්න කොහෙත්ම බැරුව ගියා. අවසානයේ මමම තීරණයක් ගත්තා මා විසින්ම මේ වැඩේ ඉවරයක් කරල දාන්න.

ඌගෙ ප්‍රොෆයිල් එක ඇරලා එකවුන්ට් සෙටින්ග්ස් වලට ගිහින් එකවුන්ට් ඩිඇක්යිවේට් බටන් එක ඔබන්න කළින් මම සිය වරක් හිතුවා, මම හදපු මගේ හොදම දක්ෂම ගෝලයා, මට සේවය කරපු කීකරු සේවකයා, එක පිහි පාරින් ගෙළ සිදින්න පුළුවන්ද කියලා. පාහරයා ඒත් ඌ ගානට වැඩියි, මටත් වඩා උඩින් යන්නයි හදන්නේ. එකවරම උගේ පණ නහන්න බොත්තම ඔබන විට මගේ අත හෙණයක් ගැහුව වගේ හිරි වැටිලා ගියා. මගේ හිත පුරා කොම්පුටරය පුරා ඌගේ රිධිරය ගළාගෙන ගියත් කමක් නැහැ දැන් ඌ නැහැ නේ.........

මගේ සිත සතුටින් පිරී ගියා.

ශ්‍යාම්…….

මේ ජීවිතය .........

මේ ජීවිතය .........

මගේ...වෙන කාගෙද?

යොවුන් වියට එළබෙන තුරු මේ ජීවිතය අම්මගෙයි තාත්තගෙයි (අප්පච්චිගෙයි ), කොච්චර දහිරිය දැම්මත් ජීවිතයේ නියම අයිතිය දෙමවුපියන්ගෙන් මට ලැබුණේ බලෙන් වගේ, කොච්චර අකමැත්තෙන්ද ඔවුන් ඒක මට දුන්නේ. මට කැමති විදිහට අදින්න පළදින්න, කොණ්ඩෙ කපන්න, පැත්තකට පොඩි ටින්ට් එකක් දාන්න, නහය විදින්න, කන විදින්න, පච්චයක් කොටන්න..... තව කොච්චරක් නම් කියලද?

මගේ ජීවිතයට පුoචි කාලෙ ඉදලා කොච්චර දේවල් නම් එකතු වෙනවද, දෙමවුපියො, සහෝදරයින් , සහෝදරියන්, නෑයො, ඔය අතරෙ වීරයෙකුත් මගේ ජීවිතයට එනවා, ඒ විතරක්ද පොඩි ෆැන්ටසියක්.ඔය ඔක්කොම මගේ ජීවිතය ඇතුලෙ මෝරා වැඩෙන අතරෙ පාසලෙන් අයින් වෙන්න කිට්ටු වෙනකොට ප්‍රේමයකුත් ඕනැ වෙනවනේ.

ඔන්න ඉතින් දැන් මටම කියලා ජීවිතයක් තියෙනවා, කොටින්ම ඒ ජීවිතය ඇතුලෙ ඉන්නෙ ප්‍රේමයයි, වීරයයි, ෆැන්ටසියයි විතරයි. කොටින්ම මුල් අයිතිකාරයො වෙච්ච දෙමවුපියො ජ්‍යෙෂ්ඨ උපදේශකයො බවට විතරක් පත් වෙනවා

විප්ලව කරනවා, පොලීසියෙන් ගුටි කනවා, හොරෙන් කුරුම්බා කඩනවා, හොරෙන් ලියුමක් ලියලා හොදම යහළුවා කියල හිතෙන කෙනා අතේ ඒක ප්‍රේමය වෙත යවනවා. විනෝද වෙලා වෙලා අන්තිමට ප්‍රේමය විසින් දැන් අපි බදිමු කියන්කොට බය හිතෙනවා, මොකක් හරි රස්සාවක් පටලවාගෙන ප්‍රේමය විවාහය කර ගන්නවා. කොටින්ම කිව්වොත් මගේ ජීවිතයට විවාහයක් කියල එකක් එනවා. මොකද මේක මගේම ජීවිතයනේ.

මගේ ප්‍රේමයත් එක්ක විවාහ වුනාට පස්සෙ ප්‍රේමය විසින් මගේ ජීවිතයේ කොටස් කාරයෙක් වෙමින් බලෙන් එය අත්පත් කර ගන්න හදනවා.... යාළුවෙක් එක්ක බොන්න නැහැ, චිත්‍රපටයක් බලන්න නැහැ, ක්‍රිකට් ගහන්න නැහැ, පොඩ්ඩක් කොටට අදින්න නැහැ, කොණ්ඩෙ මට ඕනෙ විදිහට හදන්න නැහැ, ටින්ට් එක කළු කරන්න කියනවා, හැට්ටෙ කර තව ටිකක් වැහෙන්න මහන්න කියනවා නීති ගොඩයි.

ආපහු මගේ ජීවිතය වහල් භාවයෙන් මුදවා ගන්න විප්ලවයක් කරන්න වෙනවා..අන්තිමට "එන්න එපා මගේ ජීවිතයට ඇගිළි ගහන්න" කියන තැනටම පත් වෙනවා. ඒත් ජීවිතයේ අයිතිය ආපහු ලැබෙන්නෙ නැහැ.

ඔය අතරේ ළමයි ලැබෙනවා, උන් මම වගේ වෙනවා, හුරතල් වෙනකොට ආසා හිතෙනවා. ආපහු දන්නෙම නැතුව මගේ ජීවිතය අපේ ජීවිතය බවට පත් වෙනවා.

ඔහොම ඉස්සරහට යනකොට මගේ ජීවිතයේ නිර්මාතෘවරුන් වෙච්ච දෙමවුපියො අපෙන් වෙන් වෙනවා.... ඒක කාලෙද අකාලෙද කියල කියන්න බැහැ.

රස්සාවෙ ප්‍රොමෝෂන්, ඩිමෝෂන්, බෙලි කැපිලි, දිය යටින් ගින්දර ගෙනයෑම කොච්චරක්ද? දුක හිතෙනවා, සතුටු හිතෙනවා, අවසානයට කලකිරෙනවා. ජීවිතය ගිනි ගොඩක් වුනහම කෑගහලා අඩන්න වෙනවා.

දෙමවුපියො නැති අඩුව කාටවත් පුරවන්න බැහැ, ඒ වගේම තමයි විවාහය හා දරුවො.... මොකද මේක මගේ ම ජීවිතයනේ.

රැකියාවෙන් හෙම්බත් වෙලා ඉන්න වකවානුවක, ඇතැම්විට විවාහය අපිව අතහැරලා යනවා, එහෙමත් නැත්තම් නොහිතපු වෙලාවක දරුවො අපිව දාල යනවා.

ඔන්න එතකොට මට මගේ ජීවිතයට තව දුරටත් වටිනාකමක් තියෙනවද කියා සිතෙනවා.... ඔහොම හිතිලා හිතිලා ආවේගයෙන් හිත පිරිලා ගලක් වෙලා, මොනම දෙයක් වත් මගේ ජීවිතයෙන් තව දුරටත් අවශ්‍ය නැති තීරණාත්මක මොහොතක මම හිතනවා නැවත නොඉපදෙන්න ඕනෙ කියා වත්මන් මගේම ජීවිතයට සමුදෙන්න. ජීවිතයෙන් සමුදෙන්න යොදාගන්න උපක්‍රමය විවිධාකාර වුවත් ඒකොයික යොදාගෙන හරි මගේම ජීවිතයට සමුදෙන්න හිතනවා. ඒක අවo අදහසක්.

ඉතින් මගේ ජීවිතය අවසානයි..............

ඒත් කොයි.... මම මරෙන අතරමග මාව දැකපු එකෙක් සද්භාවයෙන් මාව භාර දෙනවා ළගම තියෙන රෝහලට. ඔන්න ඉතින් දොස්තරලා දගලලා අතරමග මැරි මැරි හිටපු මාව බලෙන් මගෙ කැමැත්ත නැතුවා ආයෙත් මේ ලෝකෙට ඇදගෙන එනවා. ඊට පස්සෙ රෝහලේ පොලිස් රාළහාමි මගෙ ඇද ගාවට ඇවිත් මගෙනුත් අහලා පොතේ ලියාගන්නවා "සියදිවි හානි කරගන්න හැදුවයි කියලා"

ඊට පස්සෙ උසාවියට, එතැන මගේ ජීවිතයට ඉඩක් ඇත්තෙම නැහැ. ඔවුන් අහන දේට මම කෙටි පිළිතුරු දෙනවා ඊට පස්සේ නඩුකාර උන්නාන්සේ නියෝග කරනවා මාව මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු කරන ලෙස. අනේ ඉතින් මටත් වඩා ප්‍රශ්න ගොඩකින් මිරිකිච්ච, බේබදු මිනිහෙක්, අයාලෙ යන ළමයි, එහෙමත් නැත්තන් සල්ලි ගොඩාක් තියෙන ගොඩේ මෝඩ මිනිහෙක් බැදගෙන මාර පොෂ් කියලා හිතාගෙන ඉන්න කොණ්ඩෙ කෙලින් කරපු එහෙමත් නැත්තම් පොන්ටිo කට් එක කපාපු, මම වගේම අසරණ මනුස්සයෙක් ළගට මාව යොමු කරනවා. ඒ මනුස්සයා පොතේ තියෙන මෝඩ ප්‍රශ්න දෙක තුනක් අහලා තීරණය කරනවා මට පිස්සු කියලා. අනේ මගේ ජීවිතේ..... අවසන් වෙන්නෙ එක්කො උසාවියෙන් ඇග බැදලා දඩේකුත් එක්ක, ඒකත් එක්කම පිස්සු නැති මට නියම කෙරෙන මනෝ ප්‍රතිකාරත් එක්ක.

කොටින්ම කිව්වොත් අවසානයට මගේ ජීවිතයට සිද්ධ වෙච්ච කිසිම දෙයක් මට වුවමනා දේවල් නෙවෙයි නේ....... කාටවත් ඕනෙ දේවල් නේ

එතකොට මේ ජීවිතේ මගේ නෙවෙයිද???

ශ්‍යාම්


Friday, May 20, 2011

ඒ ඇගේ සදයි.....මේ මගේ සදයි

රාත්‍රී කාලය පුරා මීදුමෙන් ගැවසී ගත්, මුඛයෙන් දුම් දමන සීත සෘතුව පුරාවට සීතලම මිස කිසිදු රසවත් යමක් සිතට හෝ නොනැගෙන්නේ කොටින්ම සවස පහෙන් පසු නිවසින් පිටතට හෝ පැමිණීම වනාහි කුදු දුෂ්කර ක්‍රියාවක්ම වන හෙයිනි. එනමුත් එදින රාත්‍රී අහස වෙනදා මෙන් වළකුලෙන් ගැවසී නැත, සීත සුළගේ ආක්‍රමණය ඉදිරියේ ගත පරාජයම භාර ගැනීමට සැරසී සිටි මොහොතක වුවද අදුරු අහස පුරා කසාවතක් ඇතිරුවාක් මෙන් ප්‍රාණවත් කරමින් දැල්වෙමින් තිබූ ඒ මහා සද දුටු මොහොත මා සිත නැවතත් ජීවත් කරවන්නට විය. මටද හොරෙන් සිත කඩිමුඩියේ මේ මහා සද මැදින් දිව යන්නේ ල0කාවට එහෙමත් නැති නම් කොළොන්නාවට නේදැයි මා හට නිනව් වන්නට වූයේ, ඒ සිල් ඇත්තන්, පහන් කූඩු, දන්සැල් දකින අතර මගය. කොටින්ම මා මේ ගමන් කරන්නේ වෙසක් සද හරහාය.මේ ගමනට ගුවන් ප්‍රවේශ පත්, වරු ගණන් කා දමන ට්‍රාන් සිට්ස් අයත් නැත. මහා සරල ගමනකි

අපේ අයියා වෙසක් කූඩු පිස්සෙකි, ඔහුගේ වෙසක් කූඩුව සැලසුම් වන්නට පටන් ගන්නේ මාර්තු මාසයේ පටන්ය, "කැරකෙන මවු කූඩුවයි පැටවු දොලහයි,කූඩුව කරකවන්නට යොදා ගන්නා මෝටරයේ වෝල්ටේජ ගණනත් ඔහු එදිනම කියයි. සැලසුම වැඩි කමටදෝ අපි කිසිදාක හෝ ඔහුගෙන් එතරම් දැවැන්ත නිර්මාණයක් දුටුවේ නැත, අවසනදී වෙසක් පෝයට අපි ගෙදර එල්ලන්නේ අපි සියල්ලන්ම එකතු වී සාදන ලද එක් අටපට්ටමක්, හා තාරුකා දෙකක් පමණකි, ඉතුරු හරිය බකට්ය. මේ සියල්ල වන අතරේ අපි අයියාගේ පැටවු දොලහ සිහි කරමින් ඔහුට වදේ ගසමු. මේ සියල්ල සුන්දරය.

මා කිසිදා වෙසක් කූඩුවක් සාදා නැත, කූඩු සාදන්නට මා දන්නේ ද නැත, නමුත් ඒ සදහා මා කදිම අත් උදවු කරුවෙකි. "අස0ක ස0ජීව වාසලතිලක" මගේ අසල්වැසියා, කොටින්ම මගේ ගමේ මිතුරා. අපි එකිනෙකාට සියඹලා ගහ යට මීටිමට කතා කළේ "රොබින් හුඩ් මාලා නාටකයේ "මාර්ච්" සිය දේත්ල එක් කොට කරනු ලබන උරුහන් බෑම අනුකරණය කරමිනි. අපේ ඔය උරුහන් බෑම අපේ අම්මලාගේ පෙන්නන්නට වත් බැරිය, ඒ ඔය ශබ්දය ඇසෙන ඕනෑම් මොහොතක දෙදෙනාගෙන් එකෙක් සියලු රාජකාරි නවතා නිවසින් පැන ගන්නා බැවිනි.

කුඩා කල පටන් හුරු වූ මේ උරුහන් බෑම කෙළවර වූයේ සියඹලා ගහ යටට තවත් ගමේ කොල්ලන් රැලක්ගේ එක් වීමෙන් සෑදුනු "පන්සල්හේන තරුණ කැල" පිහිටුවීමෙනි. මෙකී කැල පිහිටුවන්නේ වෙසක් දන්සැලක් ස0විධානය කිරීමේ අවැසිතාව හේතුවෙනි. ඉනික්බිති වසර කිහිපයක්ම මෙකී "කැල" විසින් ස0විධානය කළ මහා සිසිල් බීම දන්සැල වැරදුනේම නැත. පන්සල්හේන නිවාස ස0කීර්ණයේම නිවැසියන්ගේ අධාරයෙන් කෙරුනු ඒ දන්සැල් අවසන් ඉතුරු වන මුදල යොදවා පන්සලට දානයක් දෙන්නේ බැති සිතකින්ම නොවුනත් අව0ක සිතිනි.

ඒ සදහා යොදාගත් බැනරය මාහට තවමත් මැවී පෙනේ. "පන්සල්හේන තරුණ කැල ස0විධානය කරන මහා සිසිල් බීම දන්සැල" ඇත්තෙන්ම අපූරු මතකයකි.

මේ සියල්ල සිදුවී අපුවදා මා ඇන්ග්ලසි ස්ට්‍රීට් එකේ පිහිටා ඇති ෆාමසියට ගොඩ වැදුනේ අත්‍යාවශ්‍ය බෙහෙතක් ලබා ගැනීම සදහාය. මා හට අදාල බෙහෙත සදහා මිල නියම කරමින් එහි සිටි එක් මැදි වයසේ කතක් ඇගේ මිතුරිය ගෙන් මෙසේ අසයි.

"ඩිඩ් යූ සී ද යෙස්ටර්ඩේ මූන්....."

හව් රොමෑන්ටික්...." ඇගේ මුහුන සතුටුන් පිනා යයි.

මේ දෙබස පිළිබදව මාද උනන්දු බව හැගී ගිය නිසා දෝ ඇය රිසිට් පත හා බෙහෙත නිකුත් කරන අතරේ ඇය ඒ සතුට මා සමගද බෙදා ගත්තාය.

වසන්ට් දැට් බියුටිෆුල්.....?

"ෂුවර් ඉට් වර්ස්" කියා සුහද සිතින් මම ෆාමසියෙන් පිටතට පැමිණියෙමි. ඒ ඇය "මූන්: එක දුටු විදිහය..... මේ මම වෙසක් සද දුටු විදිහය.

Monday, March 28, 2011

මහා පාවාදීම

කලක් ලoකාව විදේශිකයනට "මිනී කන්නන් ගේ දේශයකි" තවත් කලෙක නගරය මැද බෝම්බ පිපිරෙන සoචාරය කිරීමට නුසුදුසු රාජ්‍යයකි, නමුත් ලoකාවේ යුද්ධය අවසන්වීමත් සමගම විදේශිකයන්ගේ එවැනි ඊනියා මත ටිකෙන් ටික වෙනස් වෙමින් පවතී. නිවුස් වීක් සගරාව විසින් ලෝකයේ වාසය කිරීමට සුදුසු රාජ්‍යයන් අතුරින් ලoකාව එම ලැයිස්තුවේ ඉහල තැනක ඔසවා තබන්නේත්, නැෂනල් ජියෝග්‍රොපික් නාලිකාව මගින් ලෝකයේ සoචාරය කිරීමට සුදුසු දෙවැනි සුන්දර දිවයින වශයෙන් ලoකාව හදුන්වන්නේත් මෙහි ප්‍රතිථල වශයෙනි.

තත්වය ඒසේ තිබියදී විදේශයන් හි වෙසෙන අප ලාoකිකයනට තවමත් ලoකාව යනු අපායක් වන්නේ කෙසේද යන්න සොයා බැලීමට වටිනා අපූරු ගැටලුවකි.

විදේශ රටවලට සන්ක්‍රමණය වී සිටින ලාන්කිකයන් අතර තම උපන් රට සහ සමාජය පිළිබදව මුල් බැස ගත්තාවූ පොදු නිශේධනාත්මක ආකල්ප කිහිපයක්ම වේ. ඉන් ප්‍රධානම කාරණයක් වන්නේ ලාoකීය සමාජය විනයක් නොමති එකක් ලෙස සැලකීමය. මා වෙසෙන නවසීලන්තයේ හැමිල්ටන් නගරයේ ලාoකීය මිනිසුන්ගේ ප්‍රීති සාද, රාත්‍රී භෝජන සන්ග්‍රහ සති අන්තයට ඕනෑ තරම් තිබේ. එසේ මාද සහභාගී වූ එක් සාදයකදී එම සාදය පැවති නිවසේ ගෘහ මූලිකයාගේ මව ලoකාවට ගිය අවස්ථාවක ඇය මහත් භක්තියෙන් සහභාගී වූ දඹදිව වන්දනාවේ දසුන් ඇතුලත් සන්යුක්ත තැටිය අපහට නැරඹීමට සැලැස්වූ අතර එකී දසුන් අතර බුදු සමිදුන්ගේ දන්ත ධාතු පෙරහැරක් සන්දහා ධාතු වන්දනාවට උපාසක උපාසිකාවන් මහත් බැතියෙන් යුතුව පෝළිම් ගැසී සිටිනු දුටු එක් අයෙක් "ආ... නේ අර බලන්න ලoකාවෙ මිනිස්සු පෝළිමට යනවා.... හරි පුදුමයි" යනුවෙන් පවසා සිටියේ තමන් තොල ගාමින් සිටි විස්කි වීදුරුවද ඉහලට ඔසවමිනි. ඒ අනුව සියල්ලෝ කොක් හඩ දී සිනාසුනහ.පේරාදෙනිය සරසවියෙන් කෘෂිකර්මය පිළිබදව උපාධියක් දිනා මෙරටට පැමිණ සිටින ඔහු අනිවාරයයෙන්ම මහපොළ මුදල් ලබා ගැනීම සදහා හෝ මාසිකව මහජන බැන්කුවේ පෝළිමේ සිට ඇති බවට කිසිදු සැකයක් නැතත් එවැන්නෙක්ම මෙලෙස කතා කිරීම පුදුමයක් නොවන්නේ ලoකාව පිළිබදව පහත් හඩින් කතා කිරීම මෙවැනි රටවල වෙසෙන ලාන්කිකයන් අතර කුදු විලාසිතාවක් වී ඇති බැවිනි.

එපමණක් නොව මෙවැනි රටවල වෙසෙන ලාoකිකයන් මෙරට සිරිත් විරිත්, හා විනය සදහා හොදින් පුහුණු වී සිටිති. කොටින්ම ඔව්න් මෙවැනි රටවල මහ පාරට කෙළ ගසන්නේ වත් නැත, ඒ සුද්දන් එය නොකරන නිසාය. එසේම සතියේ එකතුවෙන ටින් යකඩ, පොලිතීන්, හා දිරාපත් නොවන කැළි කසල වෙනම මළු තුනකට දමා සතිය අග කුණු එක් රෑස් කිරීමට පැමිණෙන ලොරියට භාර දෙන්නේ ද ඉතාමත් භක්තියකිනි. නමුත් එලෙස විනීතව හැසිරෙන රටේ පිරිසිදු භාවය ගැන ඉහළින් සිතන මෙවැනි මිනිසුන් ම තමන් ගේ රට එනම් ලoකාවට කෙටි නිවාඩුවකට ගිය සැණින් අප සමාජයේ මුල් බැස ඇති එහෙත් අප විසින්ම වෙනස් කර ගත යුතු නොහොබිනා වැඩ සියල්ල පුදුම සහගත ලෙස අනුගමනය කරති. මහ පාරේ කෙළ ගැසීමේ සිට සූරාගෙන කන ගස්ලබු කැබැල්ලේ ලෙල්ල බැල්කනියේ සිට වට පිට බලා අල්ලපු වත්තට විසි කිරීම දකවා වූ අවිනීත ක්‍රියා සියල්ලක් නැවතත් ලoකාවෙන් පිට වනතුරුම යස අපූරුවට අනුගමනය කරති. ඒ සියල්ලක් නොහොබිනා ක්‍රියාවන්ට උඩ ගෙඩි දෙමින් ලoකාවෙන් පිටවූ මොහොතේ සිට එය විනයක් නොමැති රටක් ලෙස පතුරු ගසන්නේ කෙසේදැයි යන්න මෙහිදී මතුවන උභතෝකෝටිකයකි.

අනෙත් ප්‍රධාන කාරණය වන්නේ "ලoකාව නීතියක් නොමැති රාජයයක් ලෙස හන්වඩු ගැසීමය.වැඩි දුර යා යුතු නැත මේ සදහාද කදිම නිදසුනක් මා මෙහිදී අත් විද තිබේ. ලාන්කිකයන් රාත්‍රී භෝජනයකට ඒකරාශී වූ තවත් අවස්ථාවක එක් පුද්ගලයකු විසින් ලoකාව නීතියක් නොමැති රටක් ලෙස පතුරු ගසන්නට වූයේ ලoකාවේ මේ මොහොත වන විටත් සිදුවෙන ඇතැම් සාර්ව සහ ක්ෂුද්‍ර ගණයේ නීති විරෝධී ක්‍රියාවන් ගණනාවක්ම උළුප්පා පෙන්වමිනි. නවසීලන්ත්යේ පොලිසිය, දේශපාලනය, උසාවි සමග සසදමින් ඔහු සිය ප්‍රධාන කථාව සාර්ථක ලෙස නිම කළද මතින් ඔද වැඩුනු නිසාමදෝ ඔහු ඉන් මද වෙලාවකට පසු කී දෙයින් සැවොම සිනා සාගර්යේ ගිල්වන්නට සමත් විය. ඒ ඔහුට මොරටුව හා හොරණ යන මැතිවරණ බල ප්‍රදේශ දෙකෙන්ම චන්දෙ අතපසුවීමකින් ඔහුට හිමි බැවින් ඔහු සෑම චන්දයකදීම තමන් චන්ද දෙක බැගින් ප්‍රකාශ කළ බව ප්‍රකාශ කිරීමෙනි. ඔහුට අනුව එම ක්‍රියාව මහත් ආඩම්බරයට කරුණකි බොහෝ දෙනා එයට සිනා සුනේද එය අනුමත කරමිනි.

මේ සියල්ලක් දෙනා ලoකාව නීතියක් නොමැති රටක් ලෙස හන්වඩු ගසන්නේ තමන්ද ඒවාට උල්පන්දම් දෙමින් කියා ඔව්න් කල්පනා නොකරණු ඇත, ඇතැම් විටෙක රටේ ක්‍රමය එය බැවින් ක්‍රමයට අනුගත වීමක් ලෙස ඔව්න් එය දකිනවා විය හැකිය. නමුත් වරදකට උල්පන්දම් දෙමින් එම වරද සමාජානු ගත කිරීමට ඔව්න් ලබා දී ඇති දායකත්වය පිළිබදව ඔව්න් කල්පනා නොකිරීමද අවාසනාවන්ත තත්වයකි. ඔව්න් සිතන්නේ නවසීලනතය ඇතුලු ලෝකයේ දියුණු යැයි සම්මත මෙවැනි රාජයයන් විනයක් ඇති සහ නීතියක් ඇති රාජ්යයන් බවට ඉබේටම පත් වූවා කියාය.ලන්කාව වැනි නැවත නිවැරදි කර ගත හැකි මට්ටමේ වැරදි හා අඩුපාඩු කිහිපයක් පමණක් සහිත පුoචි රටක් දැඩි උත්සාහය හා පොදු විඥ්ඥානයක් ගොඩ නැගීම තුළින් යහ මගට ගත හැකි බව රටේ සිටින හා රටින් පිටව සිටින බහුතරය තවමත් වටහා නොගැනීම අවාසනාවට කාරණයකි.

සුදු හමට පුදුමාකාර බය පක්ෂ පාතීත්වයක් දක්වන අප මිනිසුන් කොටින්ම ලන්කාවේදී පුන්චි වරදටත් සුළු සේවකයාට බැන වදින මහ කෙරුම් කාරයන් සුද්දන්ගේ ඇතැම් සුන්ඛ සම්මත ක්‍රියා දැක දැකත් නිශ්ශබ්දව සිටිති. කොටින්ම ලන්කාවේ මෙන් කල් ඉකුත් වූ නොයෙකුත් කෑම වර්ග ඉද හිට මෙරට සුපිරි වෙළදසැල් වල විකිණීමට තිබේ, එසේම මහ දිගු බිල් සමග ඩොලර් විස්සක් තිහක් මෙම වෙළදසැල් යටි මඩි ගසා ගන්නා වාර අනන්තවත් තිබේ, එපමණක් නොව ඉතිරි මුදල් හැටියට ඩොලර් ශත 10 යේ සිට ශත 20 දක්වා ඉතිරි මුදල් වශයෙන් පාරිභෝගිකයාට ලබාදෙන්නේද නැත. එකී සියල්ලක් ඉවසා විත් ගෙදර පුටුවට බැණ වදින අපේ මිනිසුන් කිසිදා සුද්දාට එම වරද පෙන්වා දෙන්නෙනේ නැත. ඇතැම් විට ඒ අපට උරුම යටත් විජිත මානසිකත්වය හේතුවෙන් විය හැකිය.

මෙම ලිපියේ අවසානයක් වශයෙන් මාගේ එක් විදේශීය මිතුරෙක් කියු කාරණයක් සිහිපත් කිරීම වටී. බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වූ ඔහු ලන්කාවට ගොස් සිටි කාලයේ ඔහු ලද අත් දැකීම් මා හා විස්තර කරමින් කියා සිටියේ "ලන්කාව කියන්නෙ වචන්යේ පරිසමාප්තාර්ථයෙන්ම සුන්දර රටක් එහෙත් බොහෝ සුන්දර තැන් එහි සුන්දරත්වය ඉස්මතු වෙන ආකාරයට සකස් විය යුතු බවයි" ඔය කතාව අප් මිනිසුන් ඒකරාශී වූ අවස්ථාවක පැවසුවත් එක කාන්තාවක් එක විටම පැවසූයේ "ආ...නේ.... එහෙනම් එයා ලoකාවේ කැත තැන් දැකලා නැතුව ඇති" කියාය.

එම කාන්තාව පැවසූ පරිදි ලාන්කීය අපට උරුම විය යුත්තේ "කැත" ශේෂය පමණක්ද? යන ගැටළුව මෙහිදී පැන නගී. "නිව්ස් වීක්" සගරාව එසේ කියනවිට එය පළිගැනීමට අකමැති අපේම රටේ මිනිසුන් එසේ සිතනු ඇත්තේ ලාoකීය දුප්පත් සල්ලිවලින් නොමීලේම ද්විතීය, ත්‍රතීය අධ්‍යාපනය ලැබ ඉන්ජිනේරුවන්, දොස්තරවරුන්, විද්‍යඥයින්, සහ දස විද උගතුන් වී එම සුදුසුකම මෙවෙනි බුද්ධි හීනතාවයෙන් පෙළෙන රටවලට පෙන්නා රැකියාවක් ලබා සුවපහසු ජීවිතයක් ලබා සිටින මොහොතක යම් හෙයකින් ලoකාව මෙවැනි රටවලට වඩා ඉදිරියට ගියහොත් නැවතත් පෙරළා තමන් උපන් රටට එන්නට වේ යැයි සිතේ ඇති වූ බිය නිසා වන්නට ඇතැයි මට සිතුණි. එසේත් නැතිනම් ලoකාවේදී පුoචියට දළුලන අප යටත් විජිත මානසිකත්වය මෙවන් රටකට පැමිණි ඉක්බිති වේගයෙන් දළුලා වැඩෙන බැවින්දෝ යැයි තවත් වරෙක සිතුණි

තමන් උපයාගත් මුදලින් තමන් ඉගෙනගත් දුප්පත් ඉස්කෝලෙට, ගමට, කොටසක් වෙන්කොට ඉන් ඉමහත් තෘප්තියක් ලබන සුළුතරයක් ද මේ අතර නැත්තේ නොවේ, නමුත් අවාසනාව වන්නේ මෙවැනි රටවල වෙසෙන බහුතරයකට ලoකාව යනු මධුවිතක් තොල ගාන මොහොතක කට ගැස්මකට ගැනීමට තරම්වත් නොවටිනා හා නොහොබිනා යමක් පමණක් වීමය.

ශ්‍යාම්

29.03.11